වමත් චිත්‍ර
මේ දවස් වල යන left brain/ right brain කතා අහද්දි මට මේ සිද්ධිය මතක් වුනේ. මේක වුනේ අපි OL වලින් පස්සේ සහාගී වුනු Personality Development program එකක දී. දන්නවනේ ඔය සිංහලෙන් පෞර්ෂ්‍ය් සංවර්ධන වැඩමුලු කියලා රට හැම තැනම දැන් තියන්නේ. ඕවත් ඉතින් අපේ පරම්පරාවත් එක්කනේ අපේ රටේ ප්‍රසිද්ධ් වුනේ. ඒ යුගයේ අවශ්‍ය්තාවට ද සමහර අයගේ මඩි තර කර ගන්න ද කියන එක වෙනම කතාවක්.
කොහොම වුනත් මේ වැඩසටහනේ එක්තරා අභ්‍යාසයක් තිබුනා තමන්ට නුහුරු අතින් චිත්‍ර ඇදීමට. ඒ කියන්නේ දකුණත් අය වමෙනුත්, වමත් අය දකුණෙනුත් තමා චිත්‍රය ඇදිය යුත්තේ.. චිත්‍රයේ මාතෘකාව “මගේ පවුල”. ඔන්න ඕගොල්ලොත් කැමති නම් ඒ කියපු ක්‍රමයට, ඒ මාතෘකාවට චිත්‍රයක් ඇදලාම කතාවේ ඉතිරි ටික කියවන්න ගන්න..

කට්ටිය ඉතින් බොහොම අමාරුවෙන් අත් සීරු මාරු කර ගෙන කොලේ අම්බාන් කර ගෙන චිත්‍ර ඇන්දා. වැඩේට දුන්නේ ටික වේලාවක්, ඊට පස්සේ හැමොටම තමන් ඇන්ද චිත්‍රේ අනිත් පැත්ත හරවලා දේශනයට ආයෙමත් සහභාගී වෙන්න කිවුවා.
උපදේශකතුමාගේ විග්‍රහයට අනුව අපි නුහුරු අත පාවිච්චි කරද්දී උත්දීපනය වෙන්නේ අපේ යටි හිත (unconscious mind) එක. ඒ අනුව අපි චිත්‍රයෙන් ප්‍රකාශ කරන්නේ අපේ යටි හිතේ සැඟවිලා තියෙන දේවල් ලු. චිත්‍රයේ අපි අපිට ළගින්ම ඇඳලා ඉන්නේ අපිට වඩාත්ම සමීප කෙනාලු. පිරිමි ළමයෙක් නම් තමන්ගේ තාත්තා ත් ගැහැනු ළමයෙක් නම් තමන්ගේ අම්මාත් ළඟින් ඇඳලා තියනවා නම් ඒ අය සමබර පෞර්ෂයන් ඇති අය විදියට හඳුන්වා දුන්නා.
ඊට පස්සේ එක එක් කෙනාට නැගිටලා තමන් ගේ චිත්‍රයෙන් තමන් ගේ පවුල හඳුන්වා දෙන්න කිව්වා. එක එක් කෙනා තමන්ගේ පවුල කොච්චර සතුටින් ආදරයෙන් ඉන්නවා ද, තමන් ඇයි වැඩියෙන් තාත්තාට සමීප ඇයි වැඩියෙන් අම්මාට සමීප වගේ දේවල් විස්තර කලා. හැමෝම මේ අත්දෑකීම් එච්චර ප්‍රශ්නයක් නැතුව අනිත් අය එක්කලා බෙදා ගත්තා.
මේ අතර එක්කෙනෙක් තමන් ගේ වාරේ අවාම, අඳපු චිත්‍රයත් පොඩි කරන් බොහොම පැකිලීමෙන් වගේ නැගිට්ටා. එයාගේ චිත්‍රය නම් කට්ටියට බැලු බැල්මට තේරුම් ගන්න බැරි වුනා. එයාම ඒක ඊට පස්සේ විස්තර කරන්න ගත්තා. “කොළේ වම් කෙළවරේ උඩ ඉන්නේ මගේ තාත්තා. එයා ඉන්නේ රට. කොලේ පහළ කෙළවරේ ඉන්නේ මගේ අම්මා. එයාට වෙන සම්බන්ධයක් තියනවා ඒ හන්දා එයා ඉන්නේ වෙනම. මට දකුණින් ඉන්නේ මගේ ආච්චි අම්මා. මගේ ඔඩොක්කුවේ ඉන්නේ Blackie.” එතනින් එහාට එයාගේ වචන ටික කදුලු වලින් ගිල ගත්තා..
ඊට පස්සේ අනිත් හැමෝම තම තමන්ගේ චිත්‍රය දිහා බලන් ගොලු වුනේ, තමන්ගේ චිත්‍ර වල හංගාපු ඒ රහස් පේන්න ගත්ත හන්දද, නැත්තම් තමන් මොන තරම් වාසනාවන්තද කියලා හිතට ආපු සතුට ද කියලා දන්නේ ඉතින් ඒ අයම තමා.