FM ගිරවි

“හායි රෝෂි, උඹ දැන්ද එන්නේ..මම බයේ හිටියේ උඹ හදිස්සියේ වත් නාවනම් night-time ෂෝ එකත් අදින්න වෙන්නේ මට..”
“අපි එහෙම පොළු තියන්නේ නෑ හරිද? Duty First. නෑ කිචා අයියා..අද අර English Division එකේ Melodyගේ Birthday Party එකනේ..Dinner ගන්නේවත් නැතුව මේ එන්නේ”
“අහ්..dinner නොගත්තට වෙන වෙන ඒවා නම් අරං කියලා පේනවා.උඹත් දැන් හරි දියුණුයි නේ…එල එල අපිත් එහෙනම් දැන් ඒ පැත්තට set වෙන්න ඕනා. C U කෙල්ලේ..උම්ම”
“මල විකාර!”
දැන් ඉතින් ඇදපන්කෝ පැය දෙකක් කට්ට..
ඔළුව කැරකෙනවා..ඉදන් ඉන්නත් බෑ වගේ.. අරුං champagne කියලා මොන මල ජාරාවක් දුන්නද මන්ද… නොබී හිටියනම් කාඩ් කුඩු වෙනවා. ඇරත් උන් හිතන් ඉන්නේ international schools ගිහින් කඩ්ඩ පොඩ්ඩක් polish වෙච්ච පලියට උන් තමා පොරවල් කියලා. මොකද අපිට socialize වෙන්න බැරිද?
මේ කිචා studio එක ඇතුලෙම බට ගහලද කොහෙද.. සිගරට් ගඳ උහුලන්න බෑ..
මොනා කරත් ඕකාව shape එකේ තියා ගන්න වෙනවා. එදා 31st night එකේ දී ශලිනි ගෙයි මගේයි scene එක ඕකා mobile එකෙන් record කර ගනනේ..කොහෙද ඒ වෙලේ මටත් සිහියක් තිබ්බයැයි!! ඌ ඔක facebook දැම්මොත් ඉතින් ඔක්කම කෙල වෙනවා. අනික ඌ හසිත් ගෙත් දැන් best friend.
ඒ පාර phone එකත් ring වෙනවා. දැන් මොන මල යකාද?
“හෙලෝ රෝෂි පැටියෝ…” “කියන්න..ශිරාන් අයියා.”..”හොද බබා වගේ අදත් මගේ track එක 4 පාරක්වත් play කරන්න හොදේ.. මගේ ඊළඟ music video එකට නම් අනිවාර්යෙන්ම ඔයාව තමා දන්නේ..” “හිහ්.හිහ්..බලමුකෝ අයියේ..requests එන විදියටනේ play කරන්න වෙන්නේ..”
අපි නම් දැන් අහු වෙයි ඕවාට..
“නංගී මතක තියා ගන්න ඔයාට මේ ලැබිලා තියෙන්නේ බොහොම අතලොස්සකට ලැබෙන වටිනා chance එකක්. මේ රටේ දාහක් කොල්ලෝ කෙල්ලෝ ඔයට අද මේ ලැබෙන තැන ගන්න හීන දකිනවා. මේක අපේ රස්සාව නෙමේ ජීවිතේ කරගන්න ඕනා. මම මේ තැන හදා ගන්න ගොඩක් කැපවීම් කලා. ඔයාටත් ඒ දේ කරන්න බැරි නෑ නංගී. හැබැයි ඒ පාර ලේසි වෙන්නේ නෑ. බය වෙන්න එපා මං ඔයාට උදව් කරනවා.” පලවෙනි වතාවට අපේ program director රොමේෂ් අයියාව හම්බ වුනු වෙලේ එයා කිව්වේ එහෙමයි. ඉස්සර radio එකේ කටහඩ විතරක් අහලා සමීප වෙලා හිටපු එයාව දැක්ක දවසේ ඉදන් පුදුම ලෙංගතු කමක් දැනුනේ..
ඒත් කටහඬින් මවපු සොදුරුකම් ඒ හැබැ මිනිහා ගාව නෑ කියලා මට තේරුනේ අවුරුදු 2ක් තිස්සේ මගේ ජීවිතේ විනාශ කරලා එයා වෙන සල්ලිකාර කෙල්ලෙක් බැන්ද දවසේ. මොනා කරන්නද ඔය මිනිස්සු තරහ කරන් මේ field එකේ ඉන්න බෑනේ…
අනේ… ඒ අතින් චරිත් කොච්චර හොඳද? මගේම කරුමෙට එයා කියපු ඒ දේවල් එදා මට තේරුනේ නැනේ..
“රුවන්ති තේරුම් ගන්න radio DJ කෙනෙක් වෙනවා කියන්නේ ඔයාගේ හැකියාවන් ගණිකා වෘත්තියේ යොදවනවා වගේ වැඩක්..”
“ඔවා ඔයා ඊර්ෂ්‍යාවට කියන කතා. ඔයා කැමති නෑ මං ඔයාට වඩා උඩට යනවට. ඔයා වගේ පත්තරේක කුරුටු ගගා ඉන්නද මටත් කියන්නේ.. මගේ හීනෙට යන්න මට ඉඩ දෙන්න!
අනික මට ඕනා මගේ අම්මලට හොදට සලකන්න. තාත්තා දැන් ලෙඩ ගානේ..නංගී ට උගන්නත් ඕනා. ඉතින් ඒ හැමදේම කරලා මටත් තෘප්තිමත් වෙන්න පුලුවන් මීට වඩා හොඳ අවස්ථාවක් ලැබෙනවා ද?”
ගෙදර යන්නත් බැරි වුනා මාස ගාණකින්..තාත්තට දැන් කොහොමද දන්නේ නෑ..
“දුවේ මං දන්නවා උඹ දක්ෂයි කියලා. පොඩි කාලේ අම්මාගේ සාරි පටලවන් වත්ත පල්ලෙහාට වෙලා තනියෙන් කියවද්දී මං දැන ගත්තා උඹ කවදාහරි මේ රටේ ඉන්න දක්ෂම නිවේදිකාවක් වෙනවා කියලා. උඹේ හැකියාවෙන් රටට සේවයක් කරපන්. මිනිසුන්ට බය නොවී ඇත්ත කියපන්. මේ සංකර විදියට අපේ භාෂාව මරණ උන්ට ආදර්ශයක් වෙයන්”
හොඳ වෙලාවට අපේ channel එක තවම අපේ ගම් පලාතට expand කරලා නැත්තේ.. මේ විදියට මං කියන දේවල් ඇහුවනම් තාත්තාට 3rd attack එකත් එනවා ඒ වෙලේම.. අනේ..අපේ තාත්තට එහෙම නම් වෙන්න එපා දෙයියනේ..
“ඒයි රෝෂි..ඔයා නිදි ද?”
හ්ම්..
“commercials ඉවරයි..ඔන්න රෝෂි Jingle එකෙන් පස්සේ Take-Over කරන්න..Ready?? මං on-air දානවා..”
මේ සොඳුරු වේලාව ඔබවෙත ගෙන ආවේ ………
“හලෝ මගේ පැටියෝ…බලං හිටියද මං එනකම්? ඔන්න දැන්නම් පාළු දැනෙන එකක් නෑ. මොකද මං ඉන්නවනේ ඔයා ළඟින්ම පැය දෙකක් ම..මේ බලන්න මං ඔයා ආසම සිංදුත් අරං ආවේ..”
(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතයි කියලා අමුතුවෙන් කියන්න ඕනා නෑනේ…)